ජවිපෙට ඡන්ද නැත්තෙ ඇයි ?

sinking man
ජනතා විමුක්ති පෙරමුණ සැලකෙන්නෙ ලංකාවෙ තෙවැනි විශාලතම පක්ෂය හැටියට. ජවිපෙ පටන් ගත්ත දවසෙ ඉඳලම ඒක එහෙමම තමයි. තුන්වැනි පන්තියෙන් එපිටට එන්න ජවිපෙට අවුරුදු හතළිහකට වඩා කාලයක් ගියත් බැරිවෙන හේතු යකාගේ මොළේට දැනෙන විදියට මේ වගේ ඉදිරිපත් කරන්න තමයි හදන්නෙ. බරසාර වචන නොදන්න යකා සරලව මේක කියන්න තමයි අදහස් කරන්නෙ.

1) තවමත් හොල්මන් කරන කැරළි දෙකක මතකයන්.
2) ගම සහ සංස්කෘතිය සමග බද්ධ නොවීම
3) පුද්ගල ප්‍රතිරූප හා මනාප ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම
4) ප්‍රායෝගික බිම් මට්ටමේ සංවිධානයක් නොමැතිවීම.

මෙන්න මේ ප්‍රධාන කාරණා හතර ඔස්සේ මේ ගැන විමසා බලමු.

1) තවමත් හොල්මන් කරන කැරළි දෙකක මතකයන්.

ජවිපෙ යන නම ඇහුනම වයස අවුරුදු 50ක් සහ ඊට වැඩි වයසේ සිටින ලංකාවේ ඡන්දදායකයන්ගෙන් සැලකියයුතු කොටසකට අයත් පුද්ගලයන්ගේ හිතේ තාමත් යම්කිසි බියක් සමඟ අවිනිශ්චිත හැඟීමක් ජනිත වෙන්නෙ නිරායාසයෙන්. 71 හා 89 කාළ පරිච්ඡේදවල තරුණයන් වශයෙන් ඔවුන් මුහුණ දුන් කටුක අත්දැකීම් වලට ජවිපෙ වගකිවයුතු බව තවමත් අදහන පිරිස බොහොමයි. විශේෂයෙන්ම ඒ සමයේදී හමුදාවේ හා පොළිසියේ සේවය කරන ලද පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අතර තවමත් මෙම බිය රැඳී පවතිනවා. කැරැළ්ලට සම්බන්ධ වූ අය පවා බොහොමයක් අදවනවිට ඒ ගැන දක්වන්නේ පරස්පර මතයන්. ඔවුන් පවා සමහරක් වර්ථමානයේ ජවිපෙ කෙරෙහි නැඹුරුවක් නෑ, ඉතා කටුක ඉමිහිරි මතකයන් සමග සුන්දර තරුණ විය දියවීමට ජවිපෙ මෙන්ම රජයේ මර්ධනයද බලපෑවා. මේකට තවත් හේතුවක් විදියට දක්වන්න පුලුවන් කැරැළ්ලකට යන්න තරම් සාමාන්‍යය  ජනතාවගේ මනස සූදානම් නොවී තිබීම. බලහත්කාරයෙන් තමන් මත පටවන ලද දේශපාලන ක්‍රියාදාමයක් ලෙස බොහෝ අය මෙය දකිනවා විය හැකියි. එකල ජවිපෙ හා සම්බන්ධ වූ අය මේ වනවිට උදාසීන වුවත් එකල ජවිපෙට විරුද්ධව සිටි පිරිස තවමත් ජවිපෙට විරුද්ධ මතයක් දැරීමත් ඡන්ද බලය අඩුවීමට ප්‍රධාන සාධකයක්.

2) ගම සහ සංස්කෘතිය සමග බද්ධ නොවීම.

ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිංහල, එයිනුත් වැඩිමනක් ග්‍රාමීයව ජීවත්වන බෞද්ධ ධර්මය අදහන්නන්. ජීවත් වීම නගරයේ වුවත් බහුතර ජනතාවක් මානසිකව හා සංස්කෘතිමය වශයෙන් ගමේ ජීවත් වන්නන්. සංස්කෘතික උත්සව කොළඹ 7 පැවතුනත් තවම ඒවා සමරන්නෙ කොළඹ තුල ගමක් නිර්මාණය කරමින්. මෙන්න මේ ඔළුවෙ තියෙන ගම සහ ගැමිකම තේරුම් ගන්න සහ එයට අනුගත වෙන්න ජවිපෙ තවමත් අසමත් වෙලා තියෙනවා. අද ලංකාවෙ කුමන ආගමික උත්සවයක් පැවතුනත් එහි ප්‍රධාන අමුත්තන් වෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙකේ මහජන නියෝජිතයන්. සංඟයා වහන්සේලාගේ කුළුපග මිතුරන් මෙන් තමයි ඔවුන් හැසිරෙන්නේ. නමුත් ඔබ කවදාවත් දැක තියෙනවද ආගමික උත්සවයකට ජවිපෙ දේශපාලකයන් සහභාගිවී සිටින ආකාරය.  ඒ වගේම ඔවුන් පවත්වන සැමරුම් අවස්ථාවලදිත් ලංකාවට සංස්කෘතිමය අනුකූලතාවයක් නොදක්වන ඉටිපන්දම් දැල්වීම වැනි දේවල් තමයි සිදු කරන්නෙ. ආගමික මතයන් පක්ෂය විසින් බැහර කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය වෙන්න පුලුවන්. නමුත් එය සාමාන්‍යය ජනයාගෙන් බැහර කරන්න පක්ෂයකට අපහසුයි. මේ හේතුව නිසා සාමාන්‍යය මිනිසුන්ට ජවිපෙ දැනෙන්නෙ තමන්ගෙ ජීවන ක්‍රමයෙන් බැහැරවූ දුරස්ථ භාවයක්. පක්ෂයකට මිනිසුන් වෙනස් කිරීමට නම් දේශපාලන බලය අවශ්‍යයි.  දේශපාලන බලය ගන්නනම් මිනිස්සු අවශ්‍යයි. මේ කාරණය ජවිපෙ තවමත් හරි හැටි තේරුම් ගෙන ඇත්දැයි සැකසහිතයි.

3) පුද්ගල ප්‍රතිරූප හා මනාප ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම

ලංකාවෙ පක්ශ අතරින් මනාප උදෙසා තරඟ නොවදින එකම පක්ශය ජවිපෙ. මෙය ඔවුන් ආඩම්බරයට කාරණයක් හැටියට සඳහන් කරනවා. නමුත් ඇත්තටම හිතල බැලුවොත් මෙය ඔවුන්ගේ ඡන්ද පදනමට කරනා හානිය ඉතා විශාලයි. වසර ගණනාවක් තිස්සේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජවිපෙන් පාර්ලිම්න්තු යන ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ එකම නම් කිහිපයක්. දැන් පවතින ඡන්ද පදනම මත බොහෝවිට ජවිපෙට දිස්ත්‍රික්කයකින් හිමිවෙන්නෙ එක ආසනයක් පමණයි. මේ නිසා වෙනත් අපේක්ෂකයෙක් වැඩි මනාප ලබාගත්තත් ජවිපෙන් පාර්ලිමේන්තු යෑමට සුදුසුකම් ලබන්නෙ එකම පිරිසක් තමයි මැතිවරණ ගණනාවක් තිස්සෙ. හම්බන්තොට දිස්ත්‍රික්කය සැළකුවහොත් නිහාල් ගලප්පත්ති මහතා 1994 සිටම එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස සිටිනවා. එක් අවස්ථාවක පමණක් තවත් එක මන්ත්‍රී ධූරයක් ඔවුන් දිනා ගත්තා. මෙහි අනෙක් අර්ථය දිස්ත්‍රික්කය තුල සිටින අනෙක් ජවිපෙ ක්‍රියාකාරීන් සඳහා අවස්ථාවක් නොලැබී යාම. ඒ වගේම සක්‍රීයව ආධාරකරුවන් අපේක්ෂකයන් කිහිප දෙනෙක් වටා ගොඩනැගීම අවහිර කිරීමක්. දිස්ත්‍රික්කයක් සැළකුවම එහි මැතිවරණ කොට්ථාශ ගණනාවක් තිබෙනවා. එක ආසනයක ක්‍රියාකාරීන් හා අනෙක් ආසනයේ ක්‍රියාකාරීන් අතර තම නියෝජිතයා පිළිබඳ හා අනෙක් අය ගැන පරස්පර බෙදීම් තියෙන්න පුලුවන්. ලංකාවෙ ඡන්ද දායකයා තවමත් තමන්ගෙ ගමේ මිනිහා සහ කුළයේ මිනිසාට මනාපය පළකරන බහුතරයකින් යුක්තයි. මෙය ජවිපෙට ප්‍රතික්ශේප කරන්න බෑ, ඔවුන් එයට අනුගත නොවීම මෙහි ඇති ගැටළුවයි. මනාප ක්‍රමය තුලින් එක් එක් අපේක්ෂකයාගේ ජනප්‍රියත්වය, පෞරුෂය හේතුවෙන් ඇතිවන තරඟය වගේම ඔවුන් වටා එක්වන ආධාර කරුවන් ප්‍රමාණය මත පක්ෂයට ආකර්ශණය කරගන්නා ඡන්ද ප්‍රමාණය ඉහල දාගන්න පුලුවන්. දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, දුමින්ද දිසානායක, පාඨලී චම්පික කුමන පක්ෂයකින් ඉදිරිපත් වුවත් ඉතා විශාල මනාප ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්නෙ මෙන්න මේ හේතුව නිසයි.

4) ප්‍රායෝගික බිම් මට්ටමේ සංවිධානයක් නොමැතිවීම.

ඔබගේ ගමේ ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරිකයා ගැන ටිකක් හිතන්න. බෞද්ධයෙක් නම් ඔහු පෝය දවසටවත් පන්සලට එනවද ? මිනිසුන් සමග ගමේ පොදු වැඩවලට සහභාගි වනවාද ? අනෙත් මිනිසුන්ගෙන් දුරස්ථවූ ජීවිතයක් ගත කරනවාද ? බොහෝ පිරිසක් මේ ප්‍රශ්ණ ටිකට දෙන්නෙ එකම විදියෙ පිළිතුරු ටිකක්. ජවිපෙ ප්‍රධානම දුර්වලතාව තියෙන්නෙ මෙතන. ජවිපෙට එක රැයින් ලංකාවෙම පෝස්ටර් ගහන්න පුලුවන් තරම් සංවිධාන ශක්තියක් තිබුනත්, ජවිපෙට පොකට් මීටින්ග් එකකට ගමකින් මිනිස්සු එකතු කරගන්න බැරි මෙන්න මේ නිසා. ජවිපෙ පහලම ක්‍රියාකාරීන් සාමාන්‍යය ජන මනස තේරුම් ගැනීමට අපහසු, එම ජීවන තත්වයෙන් දුරස් සාමාජිකයින් බහුතරයකින් සැදුම්ලත් කණ්ඩායමක් කිව්වොත් නිවරදියි. මෙයට එක හේතුවක් කලින් කිව්ව වගේ කැපී පෙනෙන ප්‍රාදේශීය නියෝජිතයන් පක්ෂයට නොමැති වීම. අනෙක් පක්ශ දෙකේ සිටින ලොකු වාහනෙන් අඩියක් උඩින් යන ධනවත් බලවත් අපේක්ශකයන් පවා තමන්ගේ අපේක්ශකයා ලෙස පිලිගන්න මැලිනොවන සාමාන්‍යය ජනයාට ජවිපෙ අපේක්ශකයින් යනු නම පවා නොදන්නා ආගන්තුකයින්. මිනිසුන් අතර සිටින මිනිසුන් පක්ෂයට ඈඳා ගත් දවසට ජවිපෙ ප්‍රාදේශීයව බලවත්ව නැගී සිටිනු ඇත.

මම මේ ලිපියෙ කතා කරන්න අදහස් කලේ ජවිපෙ දුර්වලතා පමණයි. ඔවුන්ගේ බොහො සාධනීය ක්‍රියාමාර්ග පවතින බවද පිළිගත යුතුයි. 

අවසාන වශයෙන් කිවයුත්තේ රට සහ ජනතාව වෙනස් වියයුතු ආකාරය ගැන ජවිපෙට හොඳ දැක්මක් තිබුනත්, ජනතාවගෙන් ඡන්දය ලබාගැනීම සඳහා ඔවුන්ගේ දැක්මක් නොමැති බවයි. ජනතාව හා රට වෙනස් කල හැක්කේ බලය ඇති දවසක බව ඔවුන් තේරුම් ගතයුතුයි. 

Advertisements